
මහා මන්දිරවලට වඩා ගවලෙනක උපත මේ මුළු ලොවම එක මොහොතින් වෙනස් කරන්නට සමත් වූයේය. දුප්පත්කම කිරුළු දරන් උපන් ජේසු බිළින්දා සාමයේ පණිවුඩය ලොවට ගෙනා අසිරිමත් නත්තල අදයි.
“මගේ නත්තල දුගියා බත් කන දාය
මගේ නත්තල වැරහැලි නැති වන දාය
මගේ නත්තල ඔබේ අත සැනැසෙන දාය
මගේ නත්තල පව පල්ලිය යන දාය
කොටි ගවයන් හා එක්තැන් වන දාය
නයි ගුළ ළඟ දරුවා සැතපෙන දාය
ඔබ හා මා අත්වැල් බැඳ යන දාය
මගෙ කුස ගිනි බත් කට ඔබ කන දාය”
මාගේ නත්තල දුගියා බත් කන දාය කියා පැවසූයේ මල් පැලේ උපන් පන්සලේ පියතුමා නමින් හැඳින්වූ මර්සලින් ජයකොඩි පියාණන්ය. එහෙත් අප මෙදාසැරේ සැදී පැහැදී සිටිනුයේ දුගියා බත් නොකන නත්තල සැමරීමටය.
විළි රුදාවෙන් පෙළුණු ගැබ්බර මරියා රැගෙන තානායමෙන් තානායමට ගොස් ජුසේ කුළුදුල් දරු උපතට සුදුසු ස්ථානයක් සෙවීය. එහෙත් ඒ කිසිම දොරක් ඔවුන්ට විවර නොවුණත් අසල තිබූ ගව ලෙනක දරුවා ප්‍රසූත කිරීමේ උත්තම උත්සාහය සහ අධිෂ්ඨානය ක්‍රිස්තු උපත සිහි ගන්වයි. දුගී බව දෝතින් දරාගෙන එඬේරුන් පිරිවරා මිහිමඬල සාම ගීයෙන් මුසපත් කළ දෙව් උපත දුප්පත් එඬේරුන් කී පමණින් මුළු ලොවක් නොපිළිගත්හ.

ජුසේ සහ මරියා සමගින් ජේසු බිලිදුන් සීත කුණාටු සුළඟ දරාගත නොහැකිව ගව ලෙනේ සිටියදී එම සීත සුළඟ නවතාලීමට මකුළුවකු තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් දැළක් බැන්දේය. හමන සුළං මකුළු දැළෙන් වළකන්නද කියා අප අසා ඇත. කවර බාධක හමුවේ වුවත් දරුවා රැකගනිමුයි යන මවගේ පියාගේ උත්තරීතර කැපවීම හමුවේ මකුළුවාගේ ක්රියාවේ ප්‍රතිඵලයට වඩා මකුළුවාගේ උත්තරීතර සිතිවිල්ල උතුම්ය. අනුන් වෙනුවෙන් තමන්ට කළ හැකි උපරිම දේ කළ හැකි නම් මේ උදාවූ නත්තලේ සැබෑ අරුත එය වන්නේය. නත්තල යනු සතුටයි. එය දිනකට දෙකකට සීමා නොවූවකි.
නත්තල යනු ආලෝකයේ මංගල්‍යයයි. පෙර එක දවසක ඈත අහසේ වල්ගා තරුවක් පායා තිබුණේය. බෙත්ලෙහෙම්පුරේ දිළිඳු ගවලෙනේ ගව ඔරුවක ජේසු බිළිඳුන් මෙලොව එළිය දුටුවේය. ඒ අසිරිමත් මොහොතේදී එය මුලින්ම සැල වූ එඬේරුන් මහා ආලෝකයක් දුටු බව කියන්නේය. ක්‍රිස්තුස් වහන්සේ අඳුරු හදවත්වලට සදා ආලෝකය ගෙනාවේය. ආදරයේ සාමයේ නාමයෙන් බෙදාහදාගැනීමේ අපූර්ව පාඩම ලොවට කියා දුන් අසිරිමත් නත්තල කිතුණුවන් පමණක් නොව ජාති ආගම් භේදයන්ගෙන් තොරව ලෝකවාසී බොහෝදෙනා එකට එක් වී සමරති. සොවින් පිරි හදවත් සනහාලන්නට ප්‍රේමය, ආදරය, සාමය සමාදානය සමානාත්මතාව පිරුණු ලෝකයක් නිර්මාණය කරලීමට ජේසුස් වහන්සේ උන්වහන්සේගේ ආදරයේ දෑත් දිගු කළෝය. එහෙයින් එකී ආදරයේ දෑත්වල ශක්තියෙන් කිතුණු දරුවන් මෙන්ම ජාති ආගම් භේදයකින් තොරව මේ මිහිමඬලේ සියලු දරුවන්ටද නත්තලට තම නිවෙසේ නත්තල් ගසක් සකස් කරන්නට ආශීර්වාදය ලැබී තිබේ. එහෙත් වර්තමාන සමාජය නත්තල් ගසත් විකුණාගෙන කන අරුම පුදුම සමාජයකි. ගිය වසරේ රුපියල් 3000-5000 ට දුන් අඩි 6 උස නත්තල් ගසක් දැන් රුපියල් 10,000-20,000 අතරය.
සුනාමි උවදුරෙන් වැටුණු තැනින් නැගිට ගන්න අපි තවම දෑත් වාරු ඉල්ලමු. එසේම පාස්කු දා ප්‍රහාරයෙන් බොහෝදෙනා සිය ඥාතීන්ගේ වියෝ දුකින් හෙම්බත් වී සිටිති. පසුගිය කාලය පුරා කොවිඩ් වසංගතය වෙලාගෙන මුළු ලොවම එක්තැන් කළේය. එහෙත් අද වනවිටත් සුවහසක් ජනතාවට මෙවර නත්තල සැමරීමට සිදුව ඇත්තේ ජීවන වියදම නමැති බුර බුරා නැගෙන කුරිරු දළ රළට හසුවී ඇඳිවත තබා වකුගඩුවත් උකස් පොළේ වෙන්දේසි කළ කාලයකය. ලක්ෂ ගණනකගේ රුකියා අහිමි වී ඇත්තේය. හාල් කිලෝවක් රුපියල් 230ට වැඩි මිසක අඩු නැත. හරිහැටි පාන් ගෙඩියක්වත් ගන්නට නොහැකි කාලයක රුපියල් 400ට තිබූ කේක් කිලෝව මේ වනවිට රුපියල් 1000 ඉක්මවා තිබේ. රුපියල් 5ට 10 ට තිබූ ඉටිපන්දම මේ වනවිට හතර ගුණයකින් වැඩිවෙලාය. උස් තැන්වල මහ මැදුරුවල විදුලි ආලෝක ධාරා වැසි වසිද්දී විදුලිය නොමැතිව ඉටිපන්දමක්වත් මිලදී ගැනීමට නොහැකි පවුල් කීයක් මේ මිහිපිට සිටිත්ද?
මෙවර උදාවෙන නත්තල නිමිත්තෙන් රටපුරා සිදුකරන සැරසිලි, විදුලි ආලෝක, ප්‍රියසාද, නත්තල් කලාප නවතා දමා එම මුදල් රටේ අසරණ ජනතාව වෙනුවෙන් වැය කරන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ මෙරට කතෝලික ජනතාවගෙන් සහ සියලු ජනතාවගෙන් ඉකුත්දා ඉල්ලා සිටියහ. නත්තල සැමරීමට වැයකරන මුදලින් පාසල් දරු දැරියන්ගේ පාසල් උපකරණ සහ පොත්පත් වෙනුවෙන් වැයකර සැබෑ නත්තල සැමරීම වැදගත් බවද කාදිනල් හිමිපාණෝ වැඩිදුරටත් එහිදී පැවසූහ.
නත්තල සරුදැයි යමකු විමසුවහොත් බොහෝ දෙනාගේ පිළිතුර වන්නේ සරු වෙන්න නම් සල්ලි ඕනෑ කියාය. එහෙත් සැබෑ නත්තල සැමරීමට සල්ලි ඕනෑමද?
උදා වූ නත්තල වෙනුවෙන් සුබපැතුම් එක් කරමින් මහනුවර පදවි රදගුරු සහ හලාවත පදවි අපෝස්තලික පරිපාලක රදගුරු දෙව්ශ්‍රිත වැලන්ස් මෙන්ඩිස් හිමිපාණෝ ‘දේශයට’ මෙසේ අදහස් දැක්වූහ.
“ලොව ගැලවුම්කරුවාණන් වන ජේසු සමිඳාණන්ගේ උපත අපි නත්තලේදී සමරමු. එදා බෙත්ලෙහෙම් පුරවරයේ දිළිඳු ගවහලක උපත ලද ආකාරය සිහිපත් කරන්නෙමු. ක්‍රිස්තු උත්පත්තිය තුළින් දෙවියන් වහන්සේ පාපිෂ්ඨ වූ මුළු මිනිස් සංහතියම ගලවා ගැනීමට තම ඒක ජනිත පුත්‍රයාණන් මෙලොවට එවීම මෙනෙහි කරන අතර එතුළින් දෙවියන් වහන්සේ තම ජනතාවට දක්වන්නා වූ අසීමිත ආදරයද පිළිබිඹු කරයි.
දෙවියන් වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක්ද කීවොත් ස්වකීය ඒක ජනිත පුත්‍රයාණන් වුවද ලොවට දෙවා වදාළ සේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහස සියලුදෙනා විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිසය. (ජොහාන් 3/16) යන සුවිශේෂයේ වදන් මේ බව මනාව පැහැදිලි කරයි. උපතේදී ජේසුස් වහන්සේට එම්මානුවෙල් යන නාමය ලැබූ අතර එහි අර්ථය වන්නේ දෙවියන් වහන්සේ අප සමඟ යන්නයි. නත්තලේ සැබෑ සතුට අප ජීවිතවලට ළඟාකර ගැනීමට නම් ජේසු සමිඳුන් හා සම්බන්ධ වෙමින් සහෝදර ජනතාවට සංවේදී වෙමින් සහජීවනයෙන් කටයුතු කළ යුතු වෙයි. එය වර්තමානයේ අත්‍යවශ්‍ය කාරණයකි. නත්තලේ සැබෑ අරුත අත්දැකිය හැකි වන්නේ උත්සව, ප්‍රිය සම්භාෂණ හෝ බාහිර අලංකරණ මත නොවන අතර වර්තමාන සමාජයේ පවතින ආර්ථික හා දේශපාලනික පීඩනය මත අසරණ වී සිටින ජනතාවට සහ විශේෂයෙන් දරුවන් හට අපට හැකි අයුරින් සරණක් වීමෙනි. නත්තලේදී ජේසු සමිඳුන් මුණගැසිය යුත්තේ අසරණ පීඩිතව සිටින අප සහෝදර සහෝදරියන් හමුවීමෙන් බව සිහිපත් කරමු. රට තුළ උද්ගත වී ඇති ආර්ථික දේශපාලනික බිඳවැටීම තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ, ඖෂධ හා සේවා මිල ගණන් අහස උසට ඉහළ නැග දෛනික ආහාර වේලවත් සපයාගත නොහැකි පවුල්වලට අප සියලු දෙනාම නිතැතින්ම සංවේදී වී අප එකිනෙකාට හැකි පිළිවෙළින් උදවු උපකාර කළ යුතු කාලය වෙනදාටත් වඩා පැමිණ ඇති බව තේරුම් ගත යුතුය. සමිඳාණන් මෙලොවට ගෙනා සාමය හා සැනසුම මෙරට ජීවත්වන සියලුම සහෝදර ජනතාවට භුක්ති විඳීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරන අතර ඔබ සැමහට දේවාශිර්වාදය සපිරි සුබ නත්තල් මංගල්‍යයක් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා” යැයිද රදගුරු හිමිපාණෝ පැවසූහ.
විමුක්තියේ පණිවුඩය ලොවට ගෙනයමින් සැබෑ නත්තලේ අරුත විදහාලන සතුට සාමය සපිරි 2022 සුබ නත්තලක් වේවා! යි පතමු.
I සසංක චලන ගිම්හාන